All for Joomla All for Webmasters
INTERNATIONAL

මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය

ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අදියර ද පසුගිය දා අවසන් විය. ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන්නේ අදියර 7ක් යටතේ ය. 7 වන අදියර මැයි මස 19 වැනි දින අවසන් වීමට නියමිත අතර ඡන්ද ගණන් කිරීම මැයි මස 23 වැනි දින සිදු කිරීමට නියමිතයි.

මෙම අදියර හතෙන් තුන් වන අදියර විශාලතම අදියරයි. නරේන්ද්‍ර මෝදිගෙ බල ප‍්‍රදේශය වන ගුජරාටයේ ඡන්දය පැවැත්වුණේ ද තුන් වන අදියර යටතේ ය. නරේන්ද්‍ර මෝදි ද මෙවර සිය ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප‍්‍රකාශ කළ නමුත් ඔහු මැතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී සිටින්නේ ගුජරාටයෙන් නොවේ. මෝදි ඡන්දය ඉල්ලන්නේ උත්තර් ප‍්‍රදේශ්හි වාරණාසි මැතිවරණ බල ප‍්‍රදේශයෙනි.

තුන්වන අදියර යටතේ ඡන්ද දායකයන් මිලියන 188 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වරම් ලබා සිටි අතර ඡන්ද බල ප‍්‍රදේශ 117ක් මෙහි දී ආවරණය විය. ඒ යටතේ ප‍්‍රාන්ත 15ක ඡන්දය පැවැත්විණ. තුන්වන අදියර අවසන් වීමත් සමඟ ඉන්දියාවේ ඡන්ද බල ප‍්‍රදේශවලින් අඩකට වැඩි ප‍්‍රමාණයක මැතිවරණය පවත්වා අවසන් වේ.
භාරතීය ජනතා පක්ෂය විසින් මෙවර මැතිවරණය මුළුල්ලේ සිය සටන් පාඨයක් ලෙස ගෙන ගියේ ජාතික ආරක්ෂාවයි. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්ය යටතේ ජාතික ආරක්ෂාව වර්ධනය වූ ආකාරය පෙන්නුම් කිරීම සඳහා භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රචාරක වැඩපිළිවෙළ සකස් වී තිබිණ.

මහරාස්ට‍්‍රහි පැවැති මහජන රැුලියක් අමතමින් නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවේ එල්ල වූ දරුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව පිළිබඳ සඳහන් කළ අතර ඔහු පෙන්වා දුන්නේ සිය පාලන සමය තුළ දී ඉන්දියාවේ ආරක්ෂාව දැඩි වී ඇති බවයි.

2014 වසරට පෙර ඉන්දියාවේ සෑම කොනකම බෝම්බ පිපුරුණත් තමන් බලයට ආපසු ඒ සියල්ල අවසන් වූ බව හෙතෙම කියා සිටියේය.

ඉන්දීය කොංග‍්‍රසය විසින් සිය සටන් පාඨය ලෙස ගෙන ගියේ නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව තුළ ඇති වී තිබෙන ආර්ථික පසුබෑමයි. විශේෂයෙන්විරැුකියාව වර්ධනය වීම ඉන්දීය කොංග‍්‍රසයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. නරේන්ද්‍ර මෝදි පාලනය යටතේ ඉන්දියාවේ විරැුකියාව වසර 45කට පසු වැඩිම අගයක් පෙන්නුම් කළේය.

මෙවර ඉන්දීය මහ මැතිවරණයේ දී සමාජ මාධ්‍ය ඉතා විශාල බලපෑමක් එල්ල කරමින් සිටී. 2014 වසරේ පැවැති මැතිවරණයේ දී ද නරේන්ද්‍ර මෝදි බලයට පැමිණීම පිටුපස සමාජ මාධ්‍යයේ බලය ඉතා හොඳින් කැපී පෙනිණ. ෆේස්බුක් සහ ට්විටර් මෙහි දී ප‍්‍රධානතම බලකණු දෙක බවට පත් විය.

ඊට අමතර වශයෙන් වට්ස්ඇප් සමාජ මාධ්‍යය ද ප‍්‍රබල වශයෙන් භාවිත කෙරෙමින් පවතින අතර අසත්‍ය තොරතුරු ජනගත කිරීම ස`දහා ඉන්දියාව තුළ එය විශාල වශයෙන් භාවිත වී ඇති බව පෙනී යයි. වට්ස්ඇප් ආශ‍්‍රිත අසත්‍ය සහ ප‍්‍රකෝපකාරී පණිවුඩ නිසා මැතිවරණය ආශ‍්‍රිත කාලය තුළ දී ඉන්දියාව තුළ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 30කට වැඩි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දීය මැතිවරණ ක‍්‍රමය යටතේ ක‍්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ඡන්දය ප‍්‍රකාශ කිරීමේ යන්ත‍්‍ර දෝෂ සහිත බවට කොංග‍්‍රස් පක්ෂය සහ තවත් සුළු පක්ෂ මඟින් චෝදනා එල්ල වී තිබේ. නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ විපක්ෂයේ නොහැකියාව ඉදිරියේ දී මෙවැනි ප‍්‍රලාප ගොඩනඟමින් සිටින බවයි. මෙම ප‍්‍රලාපවලින් පෙනී යන්නේ භාරතීය ජනතා පක්ෂයේ ඉදිරි ජයග‍්‍රහණය බව ද ඔහු සඳහන් කර ඇත.
2019 මැතිවරණයේ වි‍ශේෂයක් වන්නේ ප‍්‍රථම වරට භාරතීය ජනතා පක්ෂය ඉන්දීය කොංග‍්‍රසයට වඩා වැඩි ප‍්‍රදේශ සංඛ්‍යාවක ඡන්දය සඳහා ඉදිරිපත් වී සිටීමයි.

ඉන්දියාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන්නේ ඉන්දීය කොංග‍්‍රසයයි. ලෝක් සභාවේ මන්ත‍්‍රී ආසන 543න් ආසන 437ක් සඳහා භාරතීය ජනතා පක්ෂය සිය අපේක්ෂකයන් යොදවා තිබේ. අනෙක් ප‍්‍රදේශවල දී තමන්ට හිතවත් ප‍්‍රාදේශීය දේශපාලන පක්ෂ සමග සන්ධාන ගත වීම සිදු වේ. වැඩිම ආසන සංඛ්‍යාවක් සඳහා අපේක්ෂකයන් සංඛ්‍යාවක් යෙදවීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග‍්‍රසය දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉදිරියෙන් සිටිය ද මෙවර එය අභිභවා යෑමට භාරතීය ජනතා පක්ෂය සමත් වීම විශේෂත්වයකි.

භාරතීය ජනතා පක්ෂය ඉන්දීය කොංග‍්‍රසයට සාපේක්ෂව ‍ලාබාල පක්ෂයක් වන අතර එය ආරම්භ වන්නේ 1980 වසරේ අපේ‍්‍රල් මස 06 වැනි දිනයි.

ජන සංඝ නමින් ඊට පෙර පැවැති දේශපාලන පක්ෂයෙන් බි‍ෙදමින් භාරතීය ජනතා පක්ෂය නිර්මාණය විය. එහෙත් ඉන්දීය කොංග‍්‍රසය නිර්මාණය වන්නේ 1885 වසරේ දී සුදු අධිරාජ්‍යය පවතින අවධියේය. ඉන්දියාවට නිදහස ලබා දීමේ සටනේ දී ඉන්දීය කොංග‍්‍රසය සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.
භාරතීය ජනතා පක්ෂය මේ වන විට බොහෝ ප‍්‍රාන්තවල හොඳ ස්ථාවරයක් සකස් කර ගැනීමට සමත් වී ඇති අතර උදාහරණයක් වශයෙන් අන්ද්‍රා ප‍්‍රදේශ් හෝ තෙලංගානා ප‍්‍රාන්තවලට කිසිදු සන්ධානයක් ඇති කර ගැනීමෙන් තොරව තමන්ගේම අපේක්ෂකයන් යෙදවීමට සමත් වී තිබේ.

නරේන්ද්‍ර මෝදි තමන් ඡන්දය ඉල්ලන වාරණාසි හි වහලය නොමැති ජීප් රථයක නැගී වීථි සංචාරයක නිරත විය. වාරණාසි යනු හින්දූන්ගේ ශුද්ධ වූ නගරයක් වන අතර ඔහු බෙනාරස් හින්දු විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් සිය ගමන ආරම්භ කළේය. මෙම ගමනේදී හින්දු ශුද්ධ භූමි රාශියක් පසු කිරීම ඔහුගේ ජාතිකවාදී ‍දේශපාලනික ප‍්‍රවේශයේ උපායමාර්ගික වැඩපිළිවෙළක් විය.

කෙසේවෙතත්, මෙවර මහමැතිවරණයේ දී ද නරේන්ද්‍ර මෝදි වාරණාසි මැතිවරණ බල ප‍්‍රදේශය ජය ගනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

පසුගිය2014 මැතිවරණයේදීද ඔහු වාරණාසි මැතිවරණ බල ප‍්‍රදේශයෙන් ඡන්දය ඉල්ලූ අතර එවර ඔහුගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූයේ නවදිල්ලි මහ ඇමැතිවරයා වී සිටින ඉතා ජනප‍්‍රිය දූෂණ විරෝධී ක‍්‍රියාකාරිකයෙකු වූ අරවින්දි කෙප්රිවාල්ය. කෙප්රිවාල් ඉතා හොඳ සටනක් 2014 වසරේ දී ලබා දුන්න ද අවසානයේ ජය ගත්තේ නරේන්ද්‍ර මෝදිය.

දර්ශන අශෝක කුමාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top