All for Joomla All for Webmasters
LOCAL

ඥානසාර හිමිගේ නිදහස තුළ සැඟවුනු අභිරහස

“සිරකරුවෝද මනුස්සයෝය” නමුත් එය බොහෝ විට වචනයට පමණක්ම සීමා වෙයි. මුදල් හදල් ඇති දේශපාලන බලය සහිත උදවිය කෙරෙහි ‘සිරකරුවෝද මනුස්සයෝය’ යන කෝණයෙන් බලන උදවිය දුප්පත් නැතිබැරි සිරකරුවන් කෙරෙහි එසේ සැලකිල්ලක් දක්වන්නේද යන ප‍්‍රශ්නය සදාකාලික වී ඇති මොහොතක උදාවූ වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට නිදහස ලබාදී ගෙදර යවන්නට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පියවර ගත්තේය. මෙසේ නිදහස ලැබූ උදවිය යළිත් රටට බරක් නොවී රටට වැඩදායී පුද්ගලයන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීමටද පියවර ගැනීම මෙහි විශේෂත්වයකි.

අධිකරණය හමුවේ සුළු වැරදි සිදුකර සිරදඬුවම් ලැබූ සහ කරන ලද වරදක් හේතුවෙන් අධිකරණය මඟින් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිව හෝ ඇප ලබාදීමට කෙනෙකු ඉදිරිපත් නොවීමෙන් බන්ධනාගාරගත වූ සිය දහස් ගණනක පිරිසක් අදත් දඬුවම් විඳිති. එවැනි අසරණ සිරකරුවන් නිදහස් කිරීමේ ක‍්‍රියාදාමයන් පැවත එන්නේ රජ සමයේ පටන්ය. යටත් විජිත සමයේ එංගලන්තයේ මහ රැජිනගේ නිර්දේශය මත සිරකරුවන් නිදහස් කිරීම සිදුකෙරිණි. පසු කාලයක දී ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරුන්ගේ නිර්දේශය අනුව සිරකරුවන් නිදහස් කිරීම සිදුකෙරිණි. එම ක‍්‍රියාදාමය තවදුරටත් ව්‍යාප්ත කරමින් සිරකරුවන් නිදහස් කිරීමේ බලය මේ වන විට ජනාධිපතිවරයාට හිමි වී ඇත.

ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයකු පත්වන්නේ 77 ව්‍යවස්ථාවට අනුවය. එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට සිරකරුවන් නිදහස් කිරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියට අනුවය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලි කරන්නේ 34 වගන්තියේ (1) යටතේ ශ‍්‍රී ලංකාවේ කවර වූ හෝ අධිකරණයක වරදකරු කරන ලද හෝ වරදකරුවකුට සමාවක් දීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බවයි. එම බලයට යටත්ව මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 කට නිදහස ලබාදීම පසුගියදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයේ දී සිදුවිය.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම සිදුවීම විවිධ පාර්ශව විසින් විවිධාකාර ලෙස විවේචනය කරන්නට වූයේ මෙරට ඉතිහාසයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬවම් විඳි අයෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ පළමු අවස්ථාව ලෙස හුවා දක්වමිනි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කරනු ලැබුවේ මිනී මැරීමේ ,මත්කුඩු ජාවාරමේ හෝ ස්ත‍්‍රී දූෂණ චෝදනාවක් යටතේ නොවේ. අධිකරණය විවේචනය කිරීමේ වරදක් මුල්කරගෙනය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වැනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය, එකී දඬුවම වසර 6 කින් ගෙවී යනසේ දඬුවම් නියම කෙරිණි. නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත‍්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත‍්‍රාත්වරයකු මෙන්ම වත්මන් කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුවය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වූයේත් එවැනි චෝදනා මත අධිකරණය හමුවේ වරදකරුවන් වී දඬුවම් ලැබුවේත් එසේ දඬුවම් ලැබ සිටි අයෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වූ පළමු අවස්ථාවත් මෙය නොවන අතර මීට පෙරාතුව පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී.දිසානායක මහතා ද අධිකරණයට චෝදනා කිරීමේ වරදට සිරගත කර සිටිය දී පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 දී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළේය. එදා එසේ එස්.බී.දිසානායක නිදහස් කරන්නැයි පොදු ඉල්ලීම් නොතිබුණ ද ඔහුගේ භාර්යාව වන තමරා දිසානායක මහත්මිය කිහිප පළක් සමඟ පිටකොටුවේ උද්ඝෝෂණයක් සිදු කළ අතර මෙහිදී දේශපාලන වශයෙන් ඔහුගේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීම පමණක් ඔහු නිදහස් කිරීමට පාදක විය.

අද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්වීම පිළිබඳව විරෝධය පළකරන හා විවේචන ඉදිරිපත් කරන පිරිසට අතීතය අමතක වී තිබීම කනගාටුවට කරුණකි. සත්‍ය වශයෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව හිමිවීම තුළ දේශපාලනයක් ගැබ්වී නැත. උන් වහන්සේට දඬුවම් හිමිවූ දා පටන් මහ නායක හිමිවරුන්, බෞද්ධ සංවිධාන, අන්‍යාගමික සංවිධාන ඇතුළු රටේ මහ ජනතාවගෙන් සියයට හැටකට අධික පිරිසක් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම් කෙරෙහි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැක්වූ ප‍්‍රතිචාරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වීමට හේතුවිය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පොදු සමාව හා මින් පෙර සිටි ජනාධිපතිවරුන්ගේ පොදු සමාවන් අතර පැහැදිලි වෙනසක් අපි දකින්නෙමු. ඒ කාලයේ විශේෂයෙන් පොදු සමාව යන වචනය යොදාගෙන තමන්ට අවශ්‍ය එහෙත් සමාජයට අහිතකර පුද්ගලයන් නිදහස් කිරීමට පියවර ගන්නා වකවානුවක් අපි පසු කළෙමු.

එසේ ජනාධිපති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප‍්‍රධාන විත්තිකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජේවීර, නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙරුණු විජය කුමාරතුංග, රජයේ බදු මුදල් විශාල වශයෙන් වංචා කිරීමේ චෝදනා යටතේ සිරදඬුවම් නියමව සිටි වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු මෙන්ම රටේ මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැරගෙනයෑම් වැනි අපරාධ රැසක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබ සිටි පාතාලේ චණ්ඩි, ගෝනවල සුනිල්, දෙමටගොඩ සනා, වැනි අපරාධකරුවන් රැසක් නිදහස් කළ අපකීර්තිමත් කාලයක් දුටු අපට ජනාධිපතිවරයාගේ සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ අප‍්‍රමාණ ආදර්ශයක් සපයන බව කිවයුතුය.

එසේ නිදහස ලැබූ අපරාධකරුවන් අතර සිටි ගෝනවල සුනිල් නැමැත්තා නමින් සුනිල් පෙරේරාය. ඔහු 70 දශකයේ බිහි වූ පාතාල නායකයෙකි. ඔහු ප‍්‍රසිද්ධ වන්නේ 1983 වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟය. ඒ වන විට ඔහු මිනීමැරුමකට වරදකරුවී සිරගතව සිටිය දී ජනාධිපති ධූරයට පත් වූ ජේ.ආර්.ජයවර්ධන මහතා ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස් කර ඔහු මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විශ්චයකාරවරයකු ලෙස පත්කිරීමත් සමඟ එම සිද්ධිය සමාජයේ දැඩි විවේචනයට ලක් විය. එම සිදුවීමෙන් ඔහු රටේ තවදුරටත් ප‍්‍රසිද්ධියට පත්විය. පසුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේද ආරක්‍ෂකයකු ලෙස කටයුතු කර ඇති ගෝනවල සුනිල්, පසු කලෙක එනම් 1987 දී පොලිස් වෙඩිපහරින් මියගොස් ඇත. එවැනි අයටද නිදහස ලබාදෙමින් අපයෝජනයට ලක් කළ ජනාධිපති සමාව මෙවර රටේ ජනතාවගේ පැසසුමට ලක්කෙරෙන හා ලොවට ආදර්ශයක් ගෙනදෙන ආකාරයෙන් සිදුවීම අගය කළ යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් අතර , ඉතාලියේ රැකියා සඳහා යවන පුද්ගලයකු මරා දමා මහාධිකරණයෙන් මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි හිටපු ඇමතිවරයකුගේ භාර්යාවක නිදහස් කිරීම පිළිබඳව සමාජයේ දැඩි විවේචනයක් පැවතියද එදා ඒ විවේචනය එළිපිට කරන්නට තරම් නිදහසක්, ආරක්‍ෂාවක් ජනතාවට නොතිබිණි. එම නිසා ජනතාව එම විරෝධය පෑවේ සිත් තුළින් පමණි. ඒ ඉතිහාසයද අද ජනතාවට අමතක වී ඇත.

ශ‍්‍රී ලංකාවේ පිහිටි බන්ධනාගාර තුළ ඉඩකඩ ඇත්තේ රැඳවියන් 11,000 කට පමණි. එහෙත් මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ පිහිටි බන්ධනාගාරවල දඬුවම් ලැබූ සිරකරුවන් 9285 දෙනෙකුද අධිකරණය මගින් වරදකරු නොකළ සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 15,019 දෙනෙකු ද සිරකුටිවල රඳවා ඇත. මේ ආකාරයෙන් 11000 කට පමණක් ඉඩකඩ ඇති බන්ධනාගාර තුළ සිරකරුවන් 24,304 දෙනෙකු රඳවා තබාගෙන සිටීම රජයටද ගැටලූවකි. අද රටට අවශ්‍ය කරන්නේ බන්ධනාගාර තවදුරටත් ව්‍යාප්ත කර වැඩි පිරිසකට ඉඩකඩ සැලසීම නොව බන්ධනාගාර ගතකරන පිරිස අඩුකරවීමය. ඒ සඳහා ජනතාව පෙළඹවීම වැදගත්ය.

බන්ධනාගාර තුළ පවතින ඉඩකඩ පමණක් නොව මානවයාගේ නිදහස පිළිබඳව බුදුදහම ඇතුළු සියලූ ආගමික අධ්‍යාත්මික දර්ශනයන් ගැනද සැලකිල්ලක් දක්වමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිරකරුවන් 762 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගත්තේය. එය මෙතෙක් ජනාධිපති පොදු සමාව යටතේ එකවර නිදහස් කරන ලද වැඩිම සිරකරුවන් පිරිස විය. එසේ නිදහස් කළ අය යළි යළිත් බන්ධනාගාර ගතවීම වළක්වාලීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට ජනාධිපතිවරයා ගෙන තිබූ පියවර තවදුරටත් අගය කළ යුතුය.

මෙතෙක් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළට හාත්පසින් වෙනස් විශේෂිත කරුණු රාශියක් මෙහි දී දැකගත හැකි විය. මෙවන් අවස්ථාවකට ජනාධිපතිවරයකු එක්වූ ඉතිහාසයේ මුල් අවස්ථාව මෙය වනු ඇත. එසේ නිදහස ලබන රැඳවියන්ගේ හඬට ජනාධිපතිවරයෙක් ඇහුම්කන් දුන් මුල් අවස්ථාවද මෙය වේ. මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 736 දෙනෙක් හා සිරකාරියන් 26 දෙනකු වශයෙන් 762 දෙනෙක් නිදහස ලැබූහ. එසේ නිදහස ලැබූ සියල්ලන්ගෙන්ම තතු විමසූ ජනාධිපතිවරයා මින් මතුවට යළිත් මෙම ස්ථානයට නොපැමිණෙන ආකාරයෙන් ජීවිතය ගොඩනඟා ගන්නා ලෙස ඉල්ලා සිටියා පමණක් නොව ඔවුන්ගේ ජීවිතය අර්ථවත් ලෙසත් රටට වැඩදායී ලෙසත් ගොඩනඟා ගැනීමට අවශ්‍ය දායකත්වය ලබාදීමටද එකඟ විය.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සමාජයට වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කළේය. මේ රැඳවියන් නිදහස ලබන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බවත් මේ සියලූ දෙනාට සිය අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සියලූ අත්වැලක්ම සැපයීමට තමන් සූදානම් බවත් කියා සිටි ජනාධිපතිවරයා මෙසේ නිදහස ලබන පිරිසෙන් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී තිබිණි. වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ අවස්ථාව මුල්කරගෙන ජනාධිපතිවරයා රැඳවියන් ඇමතුවේ බන්ධනාගාර රැඳවියකු ලෙස තමන් ලද අත්දැකීම්ද ගෙනහැර දක්වමිනි. එදා ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැල්ලේ භීෂණයට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොදැක්වූ තමන්වද අත්අඩංගුවට ගෙන මාස තුනක් කළුවර කාමරයක රඳවා තබාගෙන සිටියදී මාංචු දමාගෙන උසස් පෙළ විභාගය ලේ වගුරමින් ලියන්නට සිදුවූ අනුවේදනීය කතාව කාගෙත් සංවේගයට හේතු විය. ජනාධිපතිවරයා මේ සියල්ලෙන්ම අවධාරණය කළේ මේ රැඳවියන්ට හෝ සිරකරුවන්ට මින් මතුවට සුළු වරදක් හෝ සිදු නොකර ආදර්ශවත් පුද්ගලයන් ලෙස සමාජයට එක්වන මෙන් ආයාචනය කරමිනි.

මෙතෙක් බන්ධනාගාරවලින් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ සිරකරුවන් වෙනුවෙන් එවැනි අනුග‍්‍රහයක් දැක්වීමට හෝ පසුවිපරමක් කිරීමට වැඩපිළිවෙළක් නොතිබීම නිසාම මේ සිරකරුවන් යළි යළිත් බන්ධනාගාර කරා පැමිණීමේ ප‍්‍රවණතාව වැඩිව තිබිණි. ජීවිතය සුබවාදී ලෙස ඉදිරියට ගෙනයෑමට මඟ සලසන වැඩපිළිවෙළක් ගැන කතා කළ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම අරමුණ සිරගෙවල් පිරවීම නොවන බවත් මේ සියලූදෙනා යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම වගේම රට තුළ අපරාධ වැඩිවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

ටී.චන්ද්‍රසේකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top